සංගමන්කන්ද තුඩුව මුහුදු තීරයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ගිනි ගනිමින් තිබූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇති බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ නෞකාව මෙරට මුහුදු වෙරළ දෙසට ගසාගෙන ඒම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බවත් එය ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට කටයුතු කරමින් සිටින බවත්ය.
එසේම නෞකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා අද(05) උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් චීන වරාය ගුවන් හමුදා කඳවුරින් පිටත්ව ගොස් තිබෙනවා.
නැවේ පිටත ගින්න පැතිරීම පාලනය කළද නව අභ්‍යන්තරයේ ගින්න පවතින්නේද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසන්නේ.
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගින්න නිවීම මෙහෙයුම් සඳහා තවදුරටත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා සූදානමින් තබා ඇති බවයි.
මේ අතර ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසන්නේ ඊයේ පස්වරු හත පමණ වන විට නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කළ බවයි.
එම බලකායේ නිල ට්විටර් ගිනුමෙහි සටහනක් තබමින් ඔවුන් මේ බව කියා සිටියා.
සංගමන්කන්ද තුඩුවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී පසුගිය 03 වැනිදා පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීමකට ලක්වූවා.
එම නෞකාව බොර තෙල් ටොන් 2,70,000ක් රැගෙන කුවේටයේ සිට ඉන්දියාව දක්වා ප්‍රවාහනය කරමින් තිබූ එකක් වනවා.
ඒ නෞකාවේ බෙයිලේරුවක සිදු වූ පිපිරීමකින් හට ගැනුණු අතර නෞකාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනාගෙන් 22 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූවා.
ගින්නට හසුවීමෙන් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මරණයට පත්ව තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර ඉන්දීය වෙරළ ආරක්සක බලකායේ සහ ඉන්දීය නාවික හමුදාවේ සහයද ඒ සඳහා හිමිවූවා.
Discussion about this post