යාපනය, මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක කැනීම් සිදුකළ වළකින් යුධ හමුදා නිළ ඇදුමකට සමාන ඇදුම් කොටස් කිහිපයක් හා තවත් උපකරණ කිහිපයක් ඊයේ(16) හමුවු බව පලෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයින් පිරිසක් විසින් බිම් බෝම්බ සෙවීම සඳහා කැනීම් කළ ස්ථානයකින් අදාළ නිළ ඇදුම් කොටස් හමුව ඇති බවයි.
අදාළ කැනීම් ස්ථානයේ තිබි යුධ හමුදා නිළ ඇදුමකට සමාන ඇදුමක කොටස් කිහිපයක්, පතුරම් බහාලනයක්,බැටරි කිහිපයක්,පාවන් කොටසක් හමුව ඇති බවද පොලිසිය පැවසීය.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ස්ථානය එල් ටි ටි සංවිධානයේ හෝ යුධ හමුදාව පවත්වාගෙන ගිය බංකරයක් විය හැකි බවට සැක කරන බවයි.
අදාළ ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් සිදුකිරීමට නියමිත අතර, පලෙයි පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මීට පෙර අවස්ථා කිහිපකදීද යාපනය මුහමාලෙයි ප්‍රදේශයේදී එල් ටි ටි සංවිධානය භාවිතා කළ නිළ ඇදුම් කිහිපයක කොටස්, මිනිස් අස්ථි කොටස්,යුධ හමුදා නිළ ඇදුම් කොටස් හා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් හමුවිණ.
යුධ සමයේ උතුරු පළාතේ මුහමාලෙයි ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ හා යුධ හමුදාවේ ආරක්ෂක ඉදිරි මුර වළල්ල පිහිටා තිබිණ.
Discussion about this post