ජනතාවගේ පොදු යහපත පිණිස ලබාදෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බවත් මේ නියමය කඩකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනපති ගම සමග පිළිසඳර සාකච්ඡා මණ්ඩපය බදුල්ල හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමයෙන් ඊයේ(25) ආරම්භ කරමින් පැවැති ජනහමුවේදියි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටලු සවිඥාණිකව අවබෝධ කරගෙන විසඳුම් දීම, ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ සෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගු කාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න.” යනුවෙනි.
හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලැකෙනවා.
“ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් යොමු කළා.
මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබුවා.
කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය අද වන විට සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ගම්වාසින් කියා සිටියේ.
අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවර ගන්නා ලෙසටද ජනාධිපතිවරයා එහිදී නියෝග කර තිබෙනවා.
සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වූවා. ඒ අනුව සති කිහිපයක් තුළදී සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්වාසීන් ජනාධිපතිවරයා ගත් තීරණ හේතුවෙන් සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රකාශ කර සිටියා.
කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නා.
කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්, හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිවරයා එහිදී අදාළ අංශ වෙත නියම කර සිටියා.
ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ සහ ජනානන්ද විද්‍යාලවල අඩුපාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරුණා.
ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මැතිතුමා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නා ලෙසටද එහිදී නියම කෙරුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියන අතර ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටින අතර ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටළුවලට විසඳුම්දීමට ද ජනාධිපතිවරයා පියවර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදි ගොවීන්ට ඇති ගැටළු දීර්ඝ සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැනුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළේය.
රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටළුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් ජනාධිපතිවරයා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසා බැලීමක් සිදු කරනු ලැබුවා.
Discussion about this post