ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍ර වූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන අභිෂේකම් විශේෂ ආශීර්වාද පූජාවක් කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවොන්ෂ්වරම් කෝවිලේදී අද(03) පස්වරුවේ පවත්වා තිබෙනවා.
ප්‍රධාන හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික චාරිත්‍රානුකූලව යුද්ධ හමුදාවට ආශීර්වාද පතා මෙම ආගමික මෙහෙය සිදු කළ බවයි ශ්‍රි ලංකා යුද හමුදාව පවසන්නේ.
යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එච්.එල්. ගුරුගේ මහතාගේ ආරාධනයකට අනුව මෙම ආගමික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වූ බවයි යුද හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.
සාම්ප්‍රදායික විශේෂ හින්දු පූජාව ආරම්භ කරමින් යුද හමුදාපතිවරයා යුද්ධ හමුදාවට ආශීර්වාද පතා යුද හමුදා ධජය කෝවිල් මන්දිරය තුළ තැන්පත් කිරීමට කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත පිළිගන්වනු ලැබුවා.
71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත උත්සවයට අමතරව ඉදිරි දිනයන්හිදී කිතුනු දේව මෙහෙය, දේශය වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සැමරුම සහ ත්‍රිවිධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා ගෞරවාචාරයන් පිරිනැමීම ආදී වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිත බවයි යුද හමුදාව පවසන්නේ.
Discussion about this post