කොරෝනා ආසාදිත බවට අනාවරණ වූ දේහයක් භූමදානය හෝ ආදාහනය සඳහා නිදහස් කිරීමේ තවත් සිදුවීමක් වාර්තාවනවා.
ඒ, කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇති පසුබිමකයි.
මියයෑමෙන් අනතුරුව මෙලෙස මුදාහැර ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ දේහයක් වන අතර, කොළඹ 10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් එම දේහය මුදාහැර ඇති බවටයි වාර්තාවන්නේ.
65 හැවිරිදි එම කාන්තාව පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඊයේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදීයි ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ.
මෙම කාන්තාව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් කොළඹ 10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මෙම මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ ආමාශ පිළිකාවක සංකූලතා ඇතිවීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ අනුව ඇයගේ අවසන් කටයුතු භූමදානය හෝ ආදාහනය සඳහා මුදාහැරීමට අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
මේ අතර මීට පෙරද කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතික කාන්තාවකගේ සිරුරක් ආදාහනය නොකර භූමදානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අනාවරණයක් සිදුකළා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙවැනි ක්‍රියා හරහා කොරෝනා ව්‍යාප්තවීම තවදුරටත් ඉහළ යා හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
පිරිසක් අද වව්නියාව නගරයේ විරෝධතාවක් දියත් කරමින් මළ සිරුරු ආදාහනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කළා.
එමෙන්ම මතුගම නගරයේ ද අද විරෝධතාවක් සංවිධාන කර තිබූ අතර, ඊට එක්වූවන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිත මරණ භූමදාන කිරීම සිදුනොකරන ලෙසටයි.
කෙසේ වෙතත් අදාළ විරෝධතා දෙකම සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන ආකාරයක් දක්නට ලැබුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඉදිරියේදී නිරෝධායන නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණ සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර වසංගත රෝගවලින් මියයන පුද්ගලයින්ගේ සිරුරු දීර්ඝකාලීනව ශීතාගාර තුළ රඳවා තබාගැනීම හරහා වෛරස් ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් රුවන්පුර ප්‍රකාශ කළා.
Discussion about this post