එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරමින් සිටින බවයි.
ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන ඇති බවද ඔහු කියා සිටියා.
වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම අවදානම් තත්ත්වය මෙරට තුළ තිබෙන බවට දන්නා බවත් එම නිසා විදේශයන්හි සිට පැමිණෙන්නන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්ය.
මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවද රෝගය පැතිර යාම වේගවත් විය හැකි හෙයින් රෝගී වන රෝගීන්ගේ ප්‍රමාණය වැඩි විය හැකි බවත් ඊට සමානුපාතිකව රෝග උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩිය විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.
Discussion about this post