2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් පිරිසක් ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කරන ලද මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාවය මත කඩු 6000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශයනයන් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ(05) කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත මොහොමඩ් සෆ්රාස් නමැත්තා කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බව ආරක්ෂක අංශ සිදු කරන ලද විමර්ශයන්හිදී අනාවරණ කරගෙන ඇති බවයි.
එසේම ඉන් කඩු 600ක් පමණ රට තුළ බෙදාහැර ඇති ආකාරය සම්බන්ධයෙන් හෙළි වී ඇති බවත් සෙසු කඩු 5400 පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ දක්වා සොයා ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවත් ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේස්කර හා මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම ඊයේ(05) කැඳවනු ලැබුවා.
එළැඹෙන 31 වැනිදා පෙත්සම යළි සලකා බැලීමටයි විනිසුරුවන් එහිදී නියෝග කළේ.
Discussion about this post